1990 වර්ෂය දක්වා මධ්‍යම රජයේ දේශිය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අය කරන ලද තොග හා සිල්ලර වෙළඳාම මත පිරිවැටුම් බදු හා නිශ්චල දේපළ පැවරීම මත මුද්දර බදු අයකිරීමේ බලය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 9 වන උපලේඛනයට අනුව පළාත් සභා වෙත පවරා දෙන ලදී. මෙම කාර්ය සඳහා වෘත්තීය අත්දැකීමක් ඇති නිලධාරීන් පළාත් සභාව තුළ එවකට නොසිටීම හේතුවෙන් ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ අදාළ රාජකාරී කටයුතු වල නියුතුව සිටි නිලධාරීන් 30 දෙනෙකු 1991.01.01 දින සිට අන්තර්ග්‍රහණය කිරීම තුළින් බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලදී.

 

මෙම දෙපාර්තමේන්තුව ප්‍රධාන කාර්යාලය,කොළඹ, මහරගම, ගම්පහ, කළුතර, මුද්දර ගාස්තු අංශය වෙන් වෙන්ව කාර්යාල පවත්වාගෙන යනු ලැබේ. අනුමත කාර්ය මණ්ඩලය, ආදායම් සේවයේ නිලධාරීන් 174 ක් හා ගණකාධිකාරී හා ඒකාබද්ධ සේවයේ නිලධාරීන් 51 කි. ඉන් දැනට සේවයේ නියුක්ත ප්‍රමාණය පිළිවෙලින් 160ක් සහ 48කි.

 

1991 සිට මේ දක්වාම සෑම වසරකම පළාත් සභාවේ මුදල් ප්‍රකාශයේ සමස්ථ ආදායමෙන් 82% ක ප්‍රමාණයකට ආදායම් ගණන් දීමේ නිලධාරී ලෙස පළාත් ආදායම් කොමසාරිස් කටයුතු කරනු ලැබේ. ආරම්භයේ සිට මේ දක්වාම එම ආදායම් ඉලක්ක සම්පූර්ණ කර දීමට දෙපාර්තමේන්තුවට හැකි වී ඇත. එම ආදායම් ශීර්ෂ වලින් 2010 වර්ෂය තෙක් දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම ආදායම පිරිවැටුම් බද්ද වූ අතර, එය දෙපාර්තමේන්තුවේ සමස්ථ ආදායමෙන් 70% ක ප්‍රතිශතයක් විය. මෙවන් වාතාවරණයක් තුළ 2011 වර්ෂයේ මධ්‍යම රජයේ අයවැය ලේඛනය මඟින් එම බද්ද හදිසි තීරණයක් මත අත්හිටුවීම හේතුවෙන් නිලධාරීන්ගේ රැකියාව පිළිබඳ අවිනිශ්චිත කාල පරිච්ඡේදයකට දෙපාර්තමේන්තුවට මුහුණ දීමට සිදු විය.       එම අභියෝගයට මුහුණ දීම සඳහා දෙපාර්තමේන්තුවේ ඉන්පසු වැඩිම ආදායම වූ පළාත තුළ නිශ්චල දේපළ පැවරීමේදී ගෙවිය යුතු මුද්දර බදු රැස් කිරීමේ කාර්යට පුමුඛත්වය දී කටයුතු කිරීම අනිවාර්ය කරුණක් බවට පත්විය. මෙහිදී එතෙක් ඉතා අල්ප වශයෙන් ක්‍රියාත්මක කර තිබූ 1990 අංක 06 දරන බස්නාහිර පළාතේ මුල් ප්‍රඥප්තියේ 62 වගන්තිය ක්‍රියාවට නගමින් ශ්‍රී ලංකාවේ පළමු වරට දේපළ පැවරීමකදී එහි වෙළඳ වටිනාකම තක්සේරු කර මුද්දර ගාස්තු අයකිරීමේ ක්‍රියාවලියක් දෙපාර්තමේන්තුව හඳුන්වාදෙන ලදී. එමෙන්ම එම ප්‍රඥප්තියේ 57 වගන්තියේ විධිවිධාන පරිදි අඩු වටිනාකම් ප්‍රකාශ කර ඇති ඔප්පු පරීක්ෂා කිරිම කෙරෙහිද වැඩි අවධානයක් දී කටයුතු කරන ලදී.

ආරම්භයේදී මෙය මහත් අභියෝගයක් වුවද, දේපල පාලනය හා තක්සේරුකරණය සම්බන්ධයෙන් සුදුසුකම් සහිත නිලධාරීන් දෙපාර්තමේන්තුවේ සිටි බැවින් සියළු නිලධාරීන් වෙත පුහුණුවක් ලබාදීමෙන් පිළිගත් තක්සේරු ක්‍රමයන්ට අනුව දේපළ තක්සේරු කිරීමේ ක්‍රියාවලිය විධිමත් නීතියක් බවට පත් කර ගැනීමට දෙපාර්තමේන්තුවට හැකි විය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස 2010 වර්ෂයේ දී රු. මිලියන 4548 ක් වූ මුද්දර ගාස්තු ආදායම 2015 වර්ෂයේදී රු. මිලියන 12176 ක් දක්වා වසර 5ක් තුළ ආදායම 167% කින් එනම් රු. මිලියන 7628 කින් වැඩිකර ගැනීමට හැකිවිය. තවද 2015 වර්ෂයේදී පළාත් සභාවේ වැඩිම ආදායමක් ලැබූ ආදායම් ශීර්ෂය බවට පත්කිරීමටද හැකි විය. ඒ තුලින් දෙපාර්තමේන්තුව වර්තමානයේදී නැවතත් පළාතේ මහජනයාට අත්‍යාවශ්‍ය සේවාවක් සපයන දෙපාර්තමේන්තුවක් බවට පත්කර ගැනීමට හැකිවිය. එමෙන්ම පිරිවැටුම් බද්ද අහෝසි කිරීම හේතුවෙන් පළාත් සභාවට අහිමි වී ගිය ආදායම වර්ෂයෙන් වර්ෂය වැඩිකර දෙමින් පළාත් සභාව සවිබල ගැන්වීමට හැකිවිය.

එමෙන්ම බස්නාහිර පළාත තුළ පිහිටි පළාත් පාලන ආයතන වල මූල්‍ය ශක්තියද මෙම ක්‍රියාවලිය නිසා වැඩිකර දීමට දෙපාර්තමේන්තුවට හැකිවිය. වර්තමානයේදී එම ආයතන වල සමස්ථ ආදායමෙන් ඉතා ඉහළ ප්‍රතිශතයක් මුද්දර ගාස්තු ආදායම මඟින් ලබාදෙනු ලැබේ. එමෙන්ම දෙපාර්තමේන්තුවේ අනෙකුත් ආදායම් ශීර්ෂ වන තෑගි තරඟ බදු ආදායමද පසුගිය වසර කීපය තුළ වැඩිකර ගැනීමට හැකි වූ අතර සුරාබදු බලපත්‍ර ගාස්තු ආදායම්, උසාවි ලේඛන මත මුද්දර ගාස්තු හා උසාවි දඩ මුදල්, මධ්‍යම රජයේ ජාතිය ගොඩනැගීමේ බදු හා මුද්දර ගාස්තු යන ආදායම් රැස්කර ගැනීමේ ක්‍රියාවලියද පසුගිය වසර කීපය තුළ විධිමත් කරන ලදී. මීට අතිරේකව 2012 අංක 02 දරන ඛනිජ බදු ප්‍රඥප්තිය සහ 2015 අංක 01 දරන බස්නාහිර පළාතේ බඩු උකස් ගන්නන්ගේ ප්‍රඥප්තිය පනවා ක්‍රියාත්මක කිරීමටද දෙපාර්තමේන්තුවට හැකිවිය.